තව අවුරුදු කිහිපයක් තුළ ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීම නියත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. 20 වැනි සංශෝධනය සම්මත වුවහොත් ඇමරිකානු කොලනියක් බවට පත්වීමට ද ඉඩ තිබෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඔහු පමණක් නොව ඔහුගේ සහෝදරයාද ආරක්ෂා කරන්නේ ආණ්ඩුව විසින්ම බවයි. රටේ බහුතර ජනතා විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි තැබූ බලාපොරොත්තුව දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන බවද රාජපක්ෂ මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් ජනතාව කළකිරීමට පත්ව ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ජනතාව පමණක් නොව පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ දේශපාලනඥයන්ද කළකිරීමට පත්ව සිටින බවයි.
