දිගින් දිගටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වන කෙණෙහිලිකම් හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ඡන්දය ලබා නොදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව ඒ මහතාට සමීප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
2019 ජනාධිපතිවරණයට පෙර පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇතිකරගත් සියලුම එකඟතා මේ වනවිට කඩකර තිබීම මෙන්ම පුද්ගලිකව තමන්ට දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් එල්ල වන ප්‍රහාර පිළිබඳව ද සලකා බලා ඒ මහතා මේ තීරණයට එළඹීමට සූදානම් වන බවයි ආරංචිමාර්ග පැවසුවේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන කොමිසම හමුවට තමන්ව දිගින් දිගටම කැඳවා ප්‍රශ්න කිරීම, නිල නිවාස තුනක් එක් කර තැනූ තම නිලනිවසෙන් කොටසක් ආපහු රජයට පවරාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම, තමන්ගේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 100න් 94ක්ම සහ පොලිස් නිලධාරීන් 100න් 46ක්ම ඉවත් කිරීමට රජය ක්‍රියා කිරීම යන කරුණු ඒ මහතාට ඉතාම තදින් බලපා ඇති බවත් වාර්තා විය.
