gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති සිංගප්පුරු යනවිට අසනීප බවක් නිරීක්ෂණය වූයේ නැහැ - හේමසිරි ප්‍රනාන්දු

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තමන් සිංගප්පුරුවේ රැඳීසිටියේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට යැයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළද, ඔහු රටින් පිටවන අවස්ථාවේ අසනීප තත්ත්වයකින් පසුවූ බවක් තමන්ට නිරීක්ෂණය නොවූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේදි විනයානුකූලව සාක්ෂි ලබාදෙන ලෙස ජනාධිපති කොමිසම විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාට තරයේ අවවාද කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙනී සිටි අතර එහිදි ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඊයේ (19) සිදුවිය.

එහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා විමසා සිටියේ ඔබ රටේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපතිවරයාට දෛනිකව සම්බන්ධ කරගැනීමේ වතාවරණයක් තිබුණේ ද යන්නය.

එහිදී තමා සතු දත්ත පරික්ෂා කරමින් ජයවර්ධන මහතා කියා සිටියේ 2018 වර්ෂයේ දෙසැම්බර් මස 01 සිට 2019 වසරේ මැයි මස 01 දක්වා තමා හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇත්තේ අවස්ථා 61 කදි පමණක් බවය.

කෙසේ වෙතත් එහිදි දුරකථන දත්ත වාර්තා හුවා දක්වමින් ජනාධිපති නීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ ඉකුත් වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 දක්වා පමණක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවස්ථා 139 කදි පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බවය.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා දුරකථන වාර්තා ඔස්සේ කොමිසමට පෙන්වා දුන්නේ ප්‍රහාරයක් පිළිබදව විදෙස් බුද්ධි අංශයකින් අප්‍රේල් 04 දින පුර්ව දැනුවත් කිරීමක් සිදුකිරීමෙන් අනතුරුව අප්‍රේල් 04 වනදා සිට 20 වනදා දක්වා වූ කාලයේ දුරකතන සංවාද 14 ක් සිදුවී ඇති බවය.

මෙවැනි වතාවරණයක් තුළ අප්‍රේල් 04 බුද්ධි තොරතුර පිළිබදව ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේ මන්දැයි ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර තමන් ඒ පිළිබද දැනුම් නොදුන් බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

පසුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා විමසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ පාස්කු ඉරුදින පෙරවරුවේ ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීම් කළ විදෙස් බුද්ධි අංශය විසින් විශේෂ දැනුම්දීමක් කළේ ද යන්නය.

එයට පිළිතුරුදෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ, "ප්‍රහාරය එල්ල වූ දින පෙරවරු 8.27 ට පමණ ඊට පෙර අනතුරු අඟවා තිබූ විදෙස් බුද්ධි අංශය විසින් එදින පෙ.ව. 6 ත් 10ත් අතර ප්‍රහාරයයක් සිදුවිය හැකියැයි දැනුම් දුන්නා," යනුවෙනි.

පසුව තමන් විසින් එම පණිවුඩය පෙරවරු 8.46 ට පමණ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාට යොමුකළ බවත්, දුරකතන ඇමතුමක් ලබාගෙන එම පණිවුඩය පිළිබද ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරමින් සිටියදි පළමු බෝම්බ දෙක පිපිරි ගොස් තිබුණු බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා විසින් සාක්ෂිකරුට යෝජනා කර සිටියේ අදාළ පණිවුඩය පෙ.ව 8.27 ට නොව පෙ.ව 6.30 ට ලැබි තිබුණු අතර ඔබ විසින් එය පෙ.ව 8.27 ට ලැබුණා සේ සකසා ආරක්ෂක ලේකම්වරයාට යොමුකළා නොවේද යන්නය.

"මම එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි," යැයි එහිදී ජයවර්ධන මහතා පිළිතුරු දුනි.

ඉන් අනතුරුව සාක්ෂිකරු වෙත හරස් ප්‍රශ්න යොමුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විමසා සිටියේ අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයෙන් ලද තොරතුරෙහි නුදුරේදීම ප්‍රහාරයක් සිදුවිය හැකි යැයි සදහන්කර තිබු පසුබිමක අප්‍රේල් 21 නොව ඊට පෙරද ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබුණා නොවේද? යන්නය.

"මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ස්වාමිනි, අවදානමක් තිබ්බා. ඒ අවදානම අරගෙන තමයි මම තොරතුරුකරුට කතා කරලා ඒ පිළිබද වැඩිදුර තහවුරු කරගැනීම් කරගත්තේ, තොරතුරක් ලැබුණු සැනින් එක අනිත් පාර්ශවවලට යොමු කරනවා නම් ඒකට රටේ බුද්ධි අංශයක් තියෙන්න ඕනේ නැහැ," යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුනි.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන මහතා නීතිඥවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ආකාරය පිළිබද අසතුටට පත් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා, "ජයවර්ධන මහත්මයා, මම ඔබට මීට පෙරත් අවවාද කර තිබෙනවා, කොමිසමට සහය දක්වන නීතිඥවරයා අසන ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්න. තර්ක කරන්න ප්‍රති ප්‍රශ්න මතු කරන්න එපා, ඒක නිසා මම ඔබට තදින්ම අවවාද කරනවා මේ අන්තිම අවස්ථාව, නැවත මේ වගේ හැසිරීමක් වුණොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා," යැයි ජයවර්ධන මහතාට තරයේ අවවාද කර සිටියේය.

මේ අතර, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ජනාධිපති කොමිසම සිදුකළ සාක්ෂි විමසීම ඊයේ අවසන් කෙරුණි.

එහිදි අවසන් දිනයේ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා තම සේවාදායකයා වෙනුවෙන් වැඩිදුර සාක්ෂි මෙහෙයවමින් විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 16 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවන අවස්ථාවේ ඔහු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට විදෙස්ගත වන බවක් ඔබට දැනුම් දුන්නේද යන්නය.

එයට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා විදෙස් ගතවන අවස්ථාවේ තමන්ට එවැනි දැනුම්දීමක් සිදුනොකළ බවය.

එහිදි නීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේ ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තමන් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සදහා විදෙස් ගතවූයේ යැයි හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දී ඇති පසුබිමක, ඔහු විදෙස් ගතවීමට පෙර අප්‍රේල් 16 වන දින ගුවන්තොටුපළට ගිය ඔබ ජනාධිපතිවරයා යම් සෞඛ්‍යමය අපහසුතාවයකින් පෙළෙන බව නිරීක්ෂණය කළේද යන්නය.

"නැහැ, ස්වාමිනි කිසිම අපහසුතාවයකින් පෙළෙන බවක් මට නිරීක්ෂණය වුණේ නැහැ," යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිතුරු දුන්නේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka