බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ වෛරසය ව්‍යාප්ත වු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා ප්‍රකාශය කර තිබෙන බව පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම ස්වාධීන පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන්නීය.
“මේ ස්වාධීන පරීක්ෂණය අපිට පිළිගන්න බෑ. ඒකේ කිසිම විනිවිදභාවයක් නෑ. මොකද ඒ ආයතනය තුළ වෘත්තිය සමිතියක්වත් නැහැ. එතකොට මේ කම්කරුවන්ට සැප්තැම්බර් මාසේ විසි ගණන්වල ඉලදා ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා. ඔවුන්ට නිවාඩුවක් දුන්නේ නෑ.”
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ස්වාධීන පරීක්ෂණය සදහා කම්කරු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයතනයේ සේවයේ නිරත කම්කරු කාන්තාවන්, අනිවාර්යෙන්ම නියෝජනය විය යුතු බවයි චමිලා තුෂාරි පවසන්නේ.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් තරුපහේ හෝටල් වල නිරෝධායනය වෙද්දී,එම ආයතනයේම කම්කරුවන් කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නොමැති ස්ථාන තුළ ගාල්කර ඇති බව පෙන්වා දෙන ඇය මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේ ඔවුන්ට එලෙස වෙනස්කොට නොසලකන ලෙසයි.
“මෙහෙම වෙනස් කොට සලකන්න එපා, මේ රටේ පුරවැසියෝ.මේ රටේ කොදු නාරටිය, මේ රටේ කාන්තාවන්ගෙන් තමා මේ රටේ විදේශ විනිමය උපයගෙන තිබෙන්නේ. ඉතින් ඒ වගේ කාන්තාවන් ට ශ්‍රම බලකායකට මේ වගේ පහත්කොට සලකන්න එපා. මේ වගේ වෙනස් කොට සලකන්න එපා,” යි ඇය වැඩි දුරටත් ඉල්ලා සිටියාය.