gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බ්‍රැන්ඩික්ස් පිළිතුරු දෙයි : ලංකාවට ගෙනාවේ ඉන්දියාවේ සිටි ලාංකික සේවකයන්ලු - කොන්ත්‍රාත් සේවකයන් ගැන වගකීමක් නැතිලු !!

බ්‍රැන්ඩික්ස් සමාගම මේ වන විට ඉන්දියාවේ සිට ගෙන ආ සේවකයන් පිළිබඳ ගැටලුවට නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, එහිදී මතුවන කරුණු මෙම ලිපියෙන් සාරාංශගත කර තිබේ.

මිනුවන්ගොඩ ආයතනයේ විදේශ සේවකයන් නැතිලු

මේ අනුව කොවිඩ් තත්වය මුලින්ම මතු වූ මිනුවන්ගොඩ පෙහෙ කම්හලේ විදේශ ජාතික සේවකයන් සේවයේ යොදවා නැති බවට බ්‍රැන්ඩික්ස් සහතික වෙයි. තවද මේ කාල පරිච්ඡේදය තුළ එම කම්හලට ඉන්දියාවෙන් හෝ වෙනත් කිසිදු රටකින් පැමිණි අයෙක් ඇතුළු නොවූ බව ද එම ලිපිය සඳහන් කරයි. ඉන්දියාවේ සිට මිනුවන්ගොඩ ශාඛාව වෙත රෙදි ගෙන්වන්නේ නැති බව ද, ඉන්දියාවෙන් ලැබෙන ඇණවුම් පිළිනොගන්නා බව ද තවදුරටත් කියයි. 

විසාකාපට්නම් සිට ගුවන් යානා 3 ක් ඇවිත්

ඉන්දියාවේ විසාකා පට්නම් සිට ගුවන් යානා 3 කින් බ්‍රැන්ඩික්ස් සේවකයන් ගෙන ආ බව පිළිගන්නා ඔවුන් අනතුරුව පවසන්නේ ඒ සියලුම දෙනා ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය බව ය. 

UL1159 න් හරියටම 60 ක්?

මෙවැනි ආපදා තත්වයකදී (මරණ 105,000 ක් සහ ආසාදිතයන් මිලියන 7කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙද්දී) ඔවුන් මේ අන්දමින් සිය රට ගෙන්වීම අප අගය කළ යුතු නමුත්, මේ වන විට සංසරණය වන ඊ මේල් පණිවුඩයේ UL1159 ගුවන් යානාවෙන් 2020 සැප්තැම්බර් 22 ගෙන ආ මගීන්ගේ සංඛ්‍යාව හරියටම 60 ක් ලෙස සඳහන් වේ.

අප විසින් මෙහිදී නිරීක්ෂණය කරන්නේ මෙම ගුවන් යානාවෙන් හරියටම 60 දෙනෙකු (a round number) මෙරටට ගෙන්වීමේ තර්කය නොපැහැදිලි බවයි. එම ගුවන් යානාවේ ද පැමිණියේ ශ්‍රී ලංකා පුරවැසියන් වන බ්‍රැන්ඩික්ස් සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය පමණක් නම්, ඔවුන් හරියටම 60කට සීමා වීම අහඹුවක් විය යුතුය. 

බ්‍රැන්ඩික්ස් ආයතනය කිසිදු විටෙක ඉන්දියාවේ ශාඛාවන් හි ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් සේවය කළේද, පවුල්වල සාමාජිකයන් ද සමග ඔවුන් කී දෙනෙකු සිය රට ගෙන්විය යුතුව තිබුණේද සහ කී දෙනෙකු ඉන්දියාවේ ඉතිරිව සිටියිද යන්න ගැන කිසිදු සඳහනක් කරන්නේ නැත. මෙවැනි දත්ත නිල පැහැදිලි කිරීමක අනිවාර්ය අංග වේ. 

එසේ නොමැතිව ඔවුන් ට ‘විනිවිදභාවයක්‘ ගැන කතා කළ නොහැකි ය.

පැමිණි අය නිරෝධායනය ‘වූ‘ බවට සමාගම සහතික වන්නේ කොහොමද?

මේ අතර, එසේ ලංකාවට ගෙන්වු පිරිස රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක්ද, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තවත් දින 14 ක් ද නිරෝධායනය ‘‘වූ‘‘ බවට ද බ්‍රැන්ඩික්ස් අතීත කාලයෙන් කියයි. නමුත් මේ වන විට හෙළිදරව් වී ඇති සැප්තැම්බර් 22 ගුවන් යානයෙන් පැමිණි පිරිස සම්බන්ධයෙන් පමණක් වුවත් කිව හැක්කේ අද දිනය ඔක්තෝබර් 7 වනදා හෙයින් ඔවුන් තවමත් දින 28 සම්පූර්ණ නිරෝධායන කාල පරිච්ඡේදය සම්පූර්ණ කර නැති බව ය. 

ඒ අනුව සමාගම ඔවුන් නිරෝධායන රීති අනුගමනය කළේ යැයි සහතික වන්නේ කොහොමද? තවද පවුල් පිටින් නිරෝධායනය වන මෙම පිරිස සම්බන්ධයෙන් මෙම සහතිකය දිය යුත්තේ ඔවුන් නොව අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් විසිනි. 

මේ අතර බ්‍රැන්ඩික්ස් සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටිමින් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක් ගැන ද ලිපියේ සඳහන් වේ. එහි එක් තැනැත්තියක් බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ශාඛාවේ නේවාසිකාගාර පාලිකාව වන අතර, අනෙක් දෙදෙනා නේවාසිකාගාරයේ සේවිකාවන් ය. මෙම නේවාසිකාගාර පාලිකාව ගැන අපූරු සඳහනක් බ්‍රැන්ඩික්ස් විසින් මෙම ලිපියේදී කරයි. ඔවුන් කියන්නේ ‘‘ඇය පිරිසිදු කිරීමේ සේවාවන් සපයන තුන්වැනි පාර්ශවයක් වන බවත්, ඇය බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ශාඛාව සමග ගිවිසුම්ගත අයෙක් ද බව‘‘ යි. ‘‘මේ කිසිදු පුද්ගලයෙක් බ්‍රැන්ඩික්ස් හි සේවකයන් නොවන බව ද අපි තහවුරු කරමු‘‘ යැයි ද ලිපියේ සඳහන් වේ. 

මෙහිදී ප්‍රශ්න කිහිපයක් පැන නගියි. බ්‍රැන්ඩික්ස් සමාගම ලිපිය ආරම්භයේදී කියන්නේ තමන් විනිවිද භාවයෙන් යුතුව මෙම ගැටළුවලට පිළිතුරු දෙන බවයි. නමුත් ලිපියේ අගභාගයට යන විට ඔවුන්, මිනුවන්ගොඩ ශාඛාව සමග ගිවිසුම්ගත වී සිටින තිදෙනෙක් තමන්ගේ සේවිකාවන් නොවන බව කියන්නේ, ඔවුන්ගේ ක්‍රියාවන්ට තමන් වගකීමක් නොගන්නා බව වක්‍රාකාරව පවසමිනි. 

බ්‍රැන්ඩික්ස් ඔවුන් සමග කොන්ත්‍රාත් පදනමෙන් සේවය කරන කිසිවෙක් තමන්ගේ සේවකයන් ලෙස සලකන්නේ නැතුවා විය හැකිය. නමුත් බ්‍රැන්ඩික්ස් පරිශ්‍රයේ සහ බ්‍රැන්ඩික්ස් නේවාසිකාගාරවල කොරෝනා වෛරසය සිටියේ නම් කොරෝනාට බ්‍රැන්ඩික්ස් හි මේ කොන්දේසි අදාළ නැත. 

සරලව කියන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ඔවුන්ගේ සේවා ගිවිසුම අනුව ස්ථිර සේවකයෙක්ද, කොන්ත්‍රාත් සේවකයෙක්ද, නැතිනම් අනියම් සේවකයෙක්ද යන්න සොයා බලමින් නොවේ. මේ ආසන්න කාල පරිච්ඡේදයේදී මිනුවන්ගොඩ පරිශ්‍රයට වැස්සට පවා ගොඩවූ සියලු තැනැත්තන් ගැන මේ නිසා බ්‍රැන්ඩික්ස් සමාගමට විශාල වගකීමක් තිබේ.

මේ අනුව ඔවුන් ලිපියේ අවසන් ඡේදයෙන් සඳහන් කරන ‘අපේ රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සාමූහිකව ක්‍රියාකරමු‘‘ යන සුන්දර වාක්‍යය ලිපියේ මැද හරියේදී ඔවුන් විසින්ම සුන් කර අවසන් ය. 

බ්‍රැන්ඩික්ස් සමාගම මේ මොහොතේ මෙයට වඩා නිශ්චිත ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුය. 

බ්‍රැන්ඩික්ස් සිද්ධිය වහාම විමර්ශනය කළ යුතුය.

ඉන්දියාවේ සිට ගෙන්වූ අය සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන්දැයි සෙවීමේ වගකීම මේ අනුව පැවරෙන්නේ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් බැහැරව ශ්‍රී ලාංකික බලධාරීන් වෙත ය. ගුවන් යානාවලින් ස්වදේශිකයන් සිය රට ගෙන්වීම භාරව සිටින නිලධාරීන් මෙන්ම, ඔවුන්ව නිරෝධායනයට ලක් කළ නිලධාරීන් ද මේ පිළිබඳ විමසීමට ලක් කළ යුතුය. 

ඉන්දියාවේ සිට ගෙන්වූ සේවකයන්ගේ ලැයිස්තුවක් බ්‍රැන්ඩික්ස් සමාගමට ලබාදිය හැකිය. ඒ අනුව අදාළ සේවක සංඛ්‍යාවන් ගැන හෙළිකිරීමට ද ඔවුන්ට සිදුවන අතර, ලංකාවට පැමිණි මගීන්ගේ ගමන් වාර්තා සමග ඒවා සැසදිය යුතුය. 

මිනුවන්ගොඩ, පූගොඩ ඇතුළු බ්‍රැන්ඩික්ස් ශාඛා ජාලයට පැමිණි සහ පිටව ගිය අයගේ සම්පූර්ණ ලේඛනයක් ද බ්‍රැන්ඩික්ස් සමාගමට බලධාරීන් වෙත ලබාදීම මගින් ලිපියේ සඳහන් කරන විනිවිදභාවය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.

මෙවැනි අසම්පූර්ණ නිල ප්‍රකාශ නිකුත් කිරීමට වඩා බ්‍රැන්ඩික්ස් සමාගම මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ සත්‍ය තොරතුරු දත්ත සමග බලධාරීන් අතට වහාම පත් කිරීමයි. 

මන්ද, මෙය තවදුරටත් බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රශ්නයක් නොව ජාතික ප්‍රශ්නයක් බවට පත් ව ඇති නිසා ය. 

මේ නිසා අප කලින් ලිපියෙන් ඇසූ ප්‍රශ්නය තවමත් වලංගු ය. ‘‘බ්‍රැන්ඩික්ස්, සේවකයන් ගැන සැබෑ තතු සඟවනවාද?‘‘ 


-lankanewsweb


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka