gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක ජාතියක් ලෙස ගොඩනැගෙන්න බැරි අවිද්‍යාත්මක දේශපාලන නිසා - ඥානසාර හිමි පාස්කු කොමිසමේදී කියයි

විද්‍යාත්මක දේශපාලන ක්‍රමය හේතුවෙන් එක ජාතියක් ලෙස ගොඩනැගෙන්නට නොහැකි වී ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ (09) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට සාක්ෂි ලබා දෙමින් පැවසූහ.

මෙම කොමිසමේ කැඳවීමකට අනුව මීට ඉහතදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ලබා දුන් සාක්ෂියෙන් මුස්ලිම් සංවිධාන හා ආයතන කිහිපයකටම අගතියක් සිදුව ඇති හෙයින් උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස එම සංවිධාන විසින් කොමිසමෙන් කළ ඉල්ලීමට අනුව එම අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව ඊයේ දින දෙවන දිනයටත් ඥානසාර ස්වාමීන් වහන්සේ හරස් ප්‍රශ්න සඳහා කැඳවා තිබුණි.

ඊයේ දිනයේදී ඥානසාර ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම හරස් ප්‍රශ්න අසන ලද්දේ සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය හා ශ්‍රී ලංකා ඉස්ලාම් මධ්‍යස්ථානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජාවිඩ් මහතාය.

කෙසේවෙතත් රට තුළ මුස්ලිම් ප්‍රජාව සමඟ ප්‍රශ්න ඇතිකරගත්තේ මෑතකදී වන අතර ඉතිහාසය තුළ එවැනි තත්ත්වයක් දැක ගන්නට නොලැබුණා නේද යනුවෙන් ජනාධිපති නීතිඥවරයා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඥානසාර ස්වාමින් වහන්සේ පැවසුවේ එය එසේ නොවන අතර යටත් විජිත සමයේ පටන් ප්‍රශ්න ඇතිව තිබෙන බවයි. මුස්ලිම් ප්‍රජාව ඒ කාලයේ පටන් වේනම් ප්‍රදේශිකයක් ඉල්ලා තිබෙන බවයි ස්වාමීන් වහන්සේ සාක්ෂි දෙමින් සඳහන් කළේ. ආරම්භයේ වැරදුන තැන නිවැරදි කරගැනීමට නොහැකි වීමෙන් අද වන විට බෙදුම්වාදී තැනකටම පත්ව තිබෙන බව උන්වහන්සේ පැවසූහ. රට තුළ ඉස්ලාම් බෙදුම්වාදයට අඩිතාලම වැටුණේ 1931දී පමණ බවද උන්වහන්සේ සඳහන් කරනු ලැබූහ.

ඔලුවිල් ප්‍රකාශය මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වාම පැමිණියේ එම බෙදුම්වාදී ඉගැන්වීම් බව ඥානසාර හිමියෝ පෙන්වාදුන්හ.

එහෙත් මුස්ලිම් ජනතාව මේ දක්වාම දේශපාලන ඉල්ලීමක් කර නොමැති බවට ජනාධිපති නීතිඥවරයා යොමුකළ හරස් ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඥානසාර හිමියන් පැවසුවේ තමන් එය පිළිනොගන්නා බවයි.

LTTE  සංවිධානය මෙන් මුස්‌ලිම ජනතාව හැසිරී නැති අතර සාමාන්‍ය ජනතාව ලෙස ඔවුන්ගේ කටයුතු කරගනිමින් ජිවත් වූ බවයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ.

එහෙත් එය ස්වාමීන් වහන්සේ පිළිනොගන්නා ලදී. තමන්ට එය එසේ නොවන බව පැහැදිලි කළ හැකි අතර ඒ සඳහා පැය දෙක තුනක් ගතවන බව කියාසිටියහ.


 
අන්තවාදය ලෙස තමන් වහන්සේ අදහස් කරන්නේ කුමක්ද යන්න ජනාධිපති නීතිඥවරයා ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් කියා සිටියේ අන්තවාදය යනු තමන් දරන මතය අනෙකා විසින්ද දැරිය යුතු යන දැඩි මතධාරී ස්වභාවයට බවයි.

ඒ අනුව ඔබවහන්සේත් අන්තවාදියෙක් නේද යන්න ජනාධිපති නීතිඥවරයා ප්‍රශනයක් නගන ලදී.

ස්වාමීන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ. උන්වහන්සේ පැවසුවේ තමන් විසින් දකින දෙය ප්‍රකාශ කරන බවයි.

''අපි විරුද්ධ වන්නේ අන්තවාදී මූලධර්මවාදයට. සමහර තැන්වලදී කරුණු හෙළිදරව් කරන්න දැඩි ස්වරයෙන් කතා කර තිබෙනවා. අපි ඒ දෙය කළේ බොහොම උපේක්ෂාවෙන්. වෙනත් ආගමිකයින් රිදවීමට නෙවෙයි.''

දර්ගා නගරයේ සිදු වුණ ගැටුමද නිරාකරණය කළේ තමන්වහන්සේගේ මැදිහත්වීමෙන් බවයි ඥානසාර හිමි පැවසුවේ.

පැවති සැකයන් දුරු කරගැනීම සඳහා මීට ඉහත අවස්ථා කිහිපයකදී සමස්ත ලංකා ජමයිතුල් උලම සංවිධානය සමඟ සාකච්ජා පවත්වා තිබෙනවා නේද යනුවෙන් ජනාධිපති නීතිඥවරාය ඥානසාර හිමියන්ගෙන් විමසුවේය.

එය පිළිගත් අතර ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතාගේ නිවසේදී රැස් වී ඉතා සුහදව සාකච්ජා කළ බව  ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා සිටියහ.

එසේ නම් පැවති සැක  සංකා දුරු කරගැනීමෙන් පසු යළි ජමයිතුල් උලම සංවිධානයට එරෙහිව මත ප්‍රකාශ නොකරන බවට එහිදී එකඟතාවක් ඇති කරගත්තා නේද යනුවෙන් ජාවිඩ් මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ස්වාමීන් වහන්සේ පැවසුවේ එවැනි එකඟතාවක් ඇති කර නොගත් අතර එවැනි එකඟතාවක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක්ද නොමැති බවයි.  වැරැද්ද දකින විට තමන් කතා කරන අතර මුස්ලිම් ප්‍රජාව අතර සිටින වහබ්වාදීන් හේතුවෙන් සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට මහතා පීඩාවක් ගෙන දී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ද තමන් වහන්සේ ගිය අතර එහිදී එම කාරක සභාව නියෝජනය කළ මුස්ලිම් ඇමතිවරු පැවසුවේ ''ස්වාමීන් වහන්ස අපි ඔය වහබ්වාදයක් ගැන දන්නෙත්  නැහැ. අපි ඕවා ඉගෙන ගෙනත් නැහැ'' යනුවෙන් බවයි.

එහෙත් මේ වන විට උන්මත්තකයන් පිරිසක් විසින් සම්ප්‍රදායික මුස්ලිම් ජන ජීවිතය විනාශ කරමින් සිටින බව ඥානසාර හිමි සාක්ෂි දෙමින් පැවසූහ. 


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka