ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලබන සඳුදා (21) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන්නැයි දැනුම් දී තිබෙනවා. එදින පෙරවරු 8.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.
මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කර තිබූ අතර හදිසියේ එම රැස්වීම 21 වැනිදාට යොදාගෙන තිබෙනවා.
අවසන් වරට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරෝධය පළකර ඇති අතර එහි අඩුපාඩු පිළිබඳවද සාකච්ඡා කර තිබේ. මෙම විරෝධය හේතුවෙන් අවසානයේදී අගමැතිවරයාට ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්ද පත් කිරීමට සිදුවිය.
22 වැනිදා 20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.