ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාවද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට අභියෝග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී නව කතානායකවරයාට සුබ පතමින් විග්නේෂ්වරන් මහතා, දෙමළ භාෂාව ලොව පැරණිම සජීවී භාෂාව බවටත් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවටත් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බවයි උදය ගම්මන්පිල මහතා පවසන්නේ. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කළයුත්තේ ඔහුට විරෝධය දැක්වීම නොව එම කරුණු සම්පූර්ණ අසත්‍ය බව තහවුරු කිරීම බවයි ඇමතිවරයා පවසන්නේ.
දෙමළ ජනතාවගේ මතය අනුව දෙමළ භාෂාව ක්‍රි.පූ. තුන්වන සියවසේදී උපන් බවත් ග්‍රීක, අරාබි, චීන හා බාස්ක් යන භාෂා දෙමළ භාෂාවට වඩා පැරණි බව වාග් විද්‍යාඥයන් තහවුරු කර ඇති බවත් උදය ගම්මන්පිල මහතා පවසනවා. එසේම ලාංකික දෙමළ ජනතාවට ලන්දේසි යුගය වනතුරු ඉතිහාස පොතක් හෝ නොතිබූ බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඒ අනුව විග්නේෂ්වරන් මහතාගේ තර්ක දෙකම පට්ටපල් බොරු බව තහවුරු වන බවයි.
විග්නේෂ්වරන්ලාගේ බෙදුම්වාදය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන බවද ඇමතිවරයා පවසනවා. රජය සමග එක්ව තරග කළ ශ්‍රීලනිපයේ අංගජන් රාමනාදන් මහතා සහ ඊපීඩීපී සංවිධානයේ ඩග්ගලස් දේවානන්දා මහතාද විග්නේෂ්වරන් මහතාට වඩා දෙමළ ජනතාවගේ මනාප දිනාගෙන ඇති බව පෙන්වා දෙන උදය ගම්මන්පිල මහතා පවසන්නේ විග්නේෂ්වරන්ලාගේ පුහු තර්ක පිළි ගැනීමට උතුරේ දෙමළ ජනතාව පවා සූදානම් නොමැති බවයි.
විග්නේෂ්වරන්ට බැනලා වැඩක් නෑ එතුමට ඇත්ත කියලා දෙන්න ඕනෙ - උදය ගම්මන්පිල
2020-08-26T20:36:00+05:30
Lanka Hot News