gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන ආදරය

ගූගල් සිතියම් වල දැකිය හැකි හම්බන්තොට වරාය ආශ්‍රිත ගොඩනැගිලි සංකීර්ණයක් ගැන සමාජ ජාලා වල කතා බහක් ඇති වී තිබෙනවා. මේ ගොඩනැගිලි සැලසුම් කර තිබෙන්නේ ගුවනට "CHINA SW" ලෙස පෙනෙන ආකාරයෙන් වීම ඊට හේතුවයි. කතාව බොරුවක් නෙමෙයි. අදාළ අක්ෂර සංකේත ගූගල් සිතියම් වල ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මේ කතාබහ කෙරෙහි ලංකාවේ චීන තානාපති කාර්යාලයේද අවධානය යොමු වී තිබෙනවා. තානාපති කාර්යාලය විසින් ට්විටර් කර ඇති පරිදි ඔවුන් මේ ගොඩනැගිලි සංකීර්ණය සැලසුම් කර තිබෙන්නේ "CHINA ❤ SLK" ලෙස ගුවනට පෙනෙන ආකාරයටයි. පසුව, වරායේ ව්‍යාපාරික කටයුතු ඉහළ යද්දී ගොඩනැගිලි සංකීර්ණයට අලුතෙන් කොටස් එකතු කිරීම නිසා ගුවනට පෙනෙන එහි හැඩය වෙනස් වී තිබෙනවා. තානාපති කාර්යාලයට අනුව මෙහි තිබෙන්නේ "සංවර්ධනය සහ ආදරය පිළිබඳ කතාවක්".



සමහර විට ඇත්තටම සිදු වුනේ චීන තානාපති කාර්යාලය කියන දෙය වෙන්න ඇති. කෙසේ වුවත්, මේ වන විටනම් ආදරය සංකේතවත් කරන හදවත් ලකුණක් ගුවනට පෙන්වන ගොඩනැගිල්ලක් මෙහි පෙනෙන්නටවත් නැහැ. ඒ වගේම, "K" අකුරක නෂ්ඨාවශේෂද පෙනෙන්නට නැහැ. එහෙත්, "SW" අකුරු වල හැඩය පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

සාමාන්‍යයෙන් "SW" අකුරු වලින් අදහස් වෙන්නේ "South West" යන්නයි. එනම් නිරිත දිශාව යන්නයි. ඒ අනුව, "CHINA SW" යන්න නිරිතදිග චීනය ලෙස කියවන්න පුළුවන්. බෙයිජිං නගරයේ සිට නිරිත දිශාවට රේඛාවක් ඇන්දොත් එය හරියටම ලංකාව දක්වා දිගු වෙනවා. මෙය අපූරු අහම්බයක්.


කිසියම් රටක් විසින් වෙනත් රටකට මුදල් ප්‍රදානයක් කරන අවස්ථා වලදී දෙරට අතර මිත්‍රත්වය සංකේතවත් කෙරෙන මෙවැනි සංකේත පිහිටුවීම සාමාන්‍ය දෙයක්. එහෙත්, හම්බන්තොට වරාය එවැනි ප්‍රදානයක් නෙමෙයි. හම්බන්තොට වරාය වෙනුවෙන් වැය කර තිබෙන්නේ ගිණි පොලියට හෝ සාමාන්‍ය පොලියකට ලබාගත් ණයයි. ගිණි පොලියට ණය දීම කිසිසේත්ම ආදරයේ ප්‍රකාශනයක් නෙමෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේදී ලබාගත් චීන ණය පිළිබඳව දේශපාලන වේදිකා වලදී බොහෝ සේ කතා කරනු ලැබ තිබෙනවා. හම්බන්තොට නගරය ආශ්‍රිත වරාය, ගුවන් තොටුපොළ හා මාර්ග පද්ධතිය සංවර්ධනය කෙරුණේ ප්‍රධාන වශයෙන්ම චීන ණය යොදා ගනිමිනුයි. මේ ව්‍යාපෘති රටට බරක් බව තේරුම් ගැනීමේදී දේශපාලනය සම්බන්ධ කරගත යුතු නැහැ. එය කරුණු මත පදනම්ව නිශ්චිත ලෙස දැකිය හැකි දෙයක්.

ලංකාවේ රජය පොදු අරමුදල් වැය කිරීමේදී පවා එතරම් පාරදෘශ්‍ය ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා, අපට මේ ලිපිය ලියන්න වෙන්නේ පොදු අවකාශයෙන් සොයා ගත හැකි කරුණු මත පදනම්වයි. එම තොරතුරු වල කිසියම් වැරැද්දක් ඇත්නම් හා වඩා නිවැරදි නිල තොරතුරු ඇත්නම් අපට මෙහි ලියන දේ නිවැරදි කළ හැකියි.

හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා පළමු අදියරේදී ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝබර් මාසයේදී චීනයේ එක්සිම් බැංකුවෙන් 6.3%ක පොලියට වසර පහළොවක කාලයකින් ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමරිකන් ඩොලර් මිලියන 307ක වටිනාකමැති ණය මුදලක් මුලින්ම ලබා ගෙන තිබෙනවා. ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීම ආරම්භ වන්නේ වසර 4ක ප්‍රමාද කාලයකින් පසුවයි. මේ අනුව, මේ ණය මුදල 2012 සිට 2027 දක්වා කාලය තුළ ගෙවිය යුතුයැයි මා සිතනවා.

ණය ලබා ගෙන ඇති ඉතා අධික පොලී අනුපාතය අනුව ලබාගත් මුදලටත් වඩා වැඩි මුදලක් පොලී වශයෙන් ගෙවන්නට සිදුවන බව පැහැදිලියි. ඉන් පසුව පසුව එක්සිම් බැංකුවෙන් 6.3% පොලියටම තවත් ඇමරිකන් ඩොලර් 147ක මුදලක් ලබා ගෙන තිබෙනවා. වසර 5ක ප්‍රමාද කාලයකින් පසුව වසර 20ක් තුළ ආපසු ගෙවිය යුතුයි. මෙම ණය මුදල් වෙනුවෙන් මුලදී 1.3%ක පොලියකට එකඟ වී ඇතත් පසුව පොලී අනුපාතිකය 6.3% දක්වා ඉහළ දැමීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙන බව මාධ්‍ය වාර්තා වල සඳහන්. ණය ගිවිසුම පිළිබඳ හෙට්ටු කිරීම් වලදී මතු වූ කිසියම් කරුණක් මෙයට හේතු වුනා විය හැකියි.

ඉන් පසුව, 2012 සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 809.35ක ණය මුදලක් කොටස් තුනකට ලබා ගෙන තිබෙනවා. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 158.35ක කොටසක් හා ඩොලර් මිලියන 600ක කොටසක් චීන රජය විසින් සහන පදනමක් යටතේ ලබා දී තිබෙනවා. සහන පදනමක් කියා කිවුවත්, මේ පොලියත් 3%ක පොලියක්. සය වසරක ප්‍රමාද කාලයකින් පසු වසර 19කින් ණය මුදල ආපසු ගෙවිය යුතුයි. මේ අනුව, 2019-2038 කාලය තුළ ලබා ගත් මුදල හා එම මුදලින් 75%ක පමණ පොලී මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා.

තවත් ඩොලර් මිලියන 51ක් ලබා ගෙන තිබෙන්නේ සයමස් ලිබෝර් පොලී අනුපාතිකයට 5.6%ක් එකතු කළ විට ලැබෙන පොලී අනුපාතිකයටයි. දැනට පවතින ලිබෝ පොලී අනුපාතිකය අනුව 6%ක පමණ පොලියක්. වසර 4ක ප්‍රමාද කාලයකින් පසුව වසර 15ක් ඇතුළත ගෙවිය යුතුයි. ඒ කියන්නේ මේ ණය මුදල ආපසු ගෙවන්න වෙන්නේ 2017-2032 කාලය ඇතුළතයි. ගෙවිය යුතු පොලී මුදල ලබා ගත් ණය මුදලට වඩා වැඩි බව පැහැදිලියි.

පළමු හා දෙවන අදියර වලදී ලබාගත් ඉහත ණය මුදල් වල එකතුව අවම වශයෙන් ඇමරිකන් ඩොලර් 1,308ක්. වරායේ ඉන්ධන සැපයීම් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 77ක, පස් අවුරුදු පමා කාලයකින් පසු වසර 15කින් ගෙවිය යුතු ණය මුදලක් චීන එක්සිම් බැංකුවේ ලබා ගෙන ඇතත් ඒ සඳහා ගෙවීමට එකඟ වී ඇති පොලිය සොයා ගත නොහැකියි. සවුත් චයිනා මෝර්නින් පෝස්ට් අනුව, වරාය ඉදි කිරීම සඳහා ලබාගත් ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඉදි කිරීම සඳහා ලබාගත් ණය සඳහා වන පොලියද හෙට්ටු කිරීම් වලදී 1.3% සිට 6.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ හා ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 2ක් පමණවත් විය යුතු අතර මේ වෙනුවෙන් ගෙවිය යුතු සාමාන්‍ය පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 4.5%-5% පමණ විය යුතුයි. එනම් වසරකට ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක්. මේ ණය බොහොමයක් ආපසු ගෙවීම ආරම්භ වුනේ පසුගිය වසර වලදී. 2005-2015 රාජපක්ෂ යුගයේදී කළේ ණය අරගෙන වියදම් කර ණය ගෙවීම අනාගතයට ඉතිරි කිරීමයි. එම ණය ගෙවීමේ ප්‍රශ්නයට නැවත රාජපක්ෂ ආණ්ඩුවකටම මුහුණ දෙන්නට සිදු වීම දෛවයේ සරදමක්.

රටක් ණය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. ණය ගැනීම ප්‍රශ්නයක් වන්නේ එම ණය මුදල් වැය කරන ආකාරය අනුවයි. හම්බන්තොට ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ආපසු ගෙවිය හැකි ආදායමක් එම ව්‍යාපෘති වලින් නොලැබෙන බව ඉතා පැහැදිලියි. එවැනි ශක්‍යතාවයක් මෙම ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේදී හෝ පෙනෙන්නට තිබුනේයැයි මා සිතන්නේ නැහැ.

කොහොම වුනත් මේ ණය චීනයටනම් ආදායම් උල්පතක්. ඒ නිසා, චීනයට ලංකාව පිළිබඳ ආදරයක් ඇති වීම පහසුවෙන් තේරුම් ගත හැකියි.

ඉකොනොමැට්ටා
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka