තම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ ලේකම් විමලතිස්ස හිමි තමන්ගේම නම මැතිවරණ කොමිසම වෙත නිර්දේශ කර ඇති බවත් එතැන් පටන් විමලතිස්ස හිමි අතුරුදන්ව සිටින බවත් අපේ ජන බල පක්ෂය පවසනවා. කෙසේ වෙතත් අදාල මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ ලේකම්වරයා පත් කිරීමට පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොතිබූ බවයි පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසන්නේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් පසු ඥානසාර හිමි ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සඳහා තීරණය කළ බවත් මැතිවරණ ව්‍යාපාරය ගෙනගියේ ඊට විශාල ප්‍රචාරයක් ලබා දෙමින් බවත් පෙන්වා දෙන ආනන්ද සාගර හිමි පවසන්නේ ඒ නිසා ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඥානසාර හිමි පත්කළ යුතු බවයි.
එහෙත් පක්ෂයේ ලේකම්වරයා අතුරුදන්ව සිටීම හේතුවෙන් ඊට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබේ. රජය මැදිහත් වී හෝ අතුරුදන්ව සිටින, අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා සොයා ගැනීමට කටයුතු කළයුතු බව පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසනවා.
