gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙටට කල්යයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන දා පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට(21) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මේ අතර වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දෙයි.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නාමයෝජනා භාර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව කොවිඩ් වසංගත තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදු වූ බව සඳහන් කළේය.

මාර්තු මස 17, 18 සහ 19 යන දිනවල නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මතභේදකාරී තත්වයක් උද්ගතව තිබුණද එහි කිසිදු නීතිමය පදනමක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයකට අනුව මාර්තු මස 17, 18 සහ 19 යන දිනයන් විශේෂ නිවාඩු දිනයන් වශයෙන් පමණක් සඳහන් කර තිබූ බව කියා සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම දිනවල දිසා ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන විවෘතව තිබූ බව ද සඳහන් කළේය.

ඒ අනුව අදාළ දිනයන්හි නාමයෝජනා භාර ගැනීම ගැටලු සහගත නොවන බවට දැන් පෙනී යන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා  වර්මානයේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල රාත්‍රි කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් පෙන්වා දුන්නේය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් මෙතෙක් කොළ එළියක් දල්වා නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥවරයා මැතිවරණයක් පැවැත් වීමේදී ඒ හා සම්බන්ධ නිලධාරීන්ට දිනකට සාමාන්‍යයෙන් දිනකට පැය 16 ක් හෝ 18 ක් අඛණ්ඩව රාජකාරි කිරීමට සිදුවන බව පැවසුවේය.

ඒත් වර්තමානයේ පවතින ඇඳිරි නීති තත්වය හා සමාජ දුරස්ථභාවය යනාදී කරුණු හේතුවෙන් එම නිලධාරීන්ට රාජකාරි කිරීමට හැකියාව ලැබෙන්නේ උපරිම වශයෙන් දිනකට පැය 12 ක් පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතීත මැතිවරණවලදී විශ්‍රාම ගිය මැතිවරණ නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමක් සිදු කළත් වර්තමානයේ පවතින වසංගත තත්වය නිසා එම නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

මෙම වාතාවරනය හමුවේ දැනට සැලසුම් කර තිබෙන පරිදි ජූනි මස 20 වනදා ප්‍රායෝගිකව මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කර සිටියේය.

මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලබාගැනීම  අවශ්‍ය බව සඳහන් කර සිටී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළේය.

 මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස එතැන් පටන් සති දහයකින් පමණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කර සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මැතිවරණයට යොදා ගත හැකි සෞඛ්‍යයමය මාර්ගෝපදේශය මාලාවක් සකස් කරන ලෙස කොමිසම විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් එම ඉල්ලීමට අනුව සෞඛ්‍ය අංශ විසින් ඒ හා සම්බන්ධ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරමින් සිටින බවද දන්වා සිටියේය.

ජුනි මස 20වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියේය.

එම කරුණ පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර මහතා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සදහන් කර සිටීයේය.

මෙම අවස්ථාවේ දී නීතිඥ හස්ථික දේවේන්ද්‍ර ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතය ද? එසේත් නැතිනම් ඔබගේ සේවාදායකයාගේ මතය ද? යන්න විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණයට දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවයි.

එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර මහතා පැවසුවේ ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් බල වගඋත්තරකරුවකු ලෙස තම සේවාදායකයා නම්කර තිබෙන බවත් එබැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවත් පැවසුවේය

ඉන් අනතුරුව මෙම පෙත්සම් වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන තර්කය පදනම් විරහිත බව පැවසුවේය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ නව වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හල දා සිට මැතිවරණය පවත්වා අවසන් ප්‍රතිඵලය නිකුත් කරන දින දක්වා කාලසීමාව මැතිවරණ කාල සීමාව වශයෙන් සලකන බවයි මෙහිදී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් තුළ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඉදිරිපත් කරන තර්කය පදනම් විරහිත බවද ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණය හමුවට පැමිණ සිටින පෙත්සම්කරුවන් ගෙන් බහුතරයක් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඔවුන් එසේ නාම යෝජනා පත්‍ර භාර දෙනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන නිසා යැයි සඳහන් කළේය

ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණය හමුවට පැමිණ තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන්නේ  යහපත් චේතනාවකින් නොවන බව සඳහන් කළේය.

මෙම පෙත්සම් තුළින් අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කිරීමක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම් වල පවතින පදනම් විරහිත භාවය  පිළිබඳව තමා හෙට දින කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසුවේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka