gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලන්කන් ගුවන් සේවය LTTEය අතට?

එල්.ටී.ටී.ඊ මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන ‘ලයිකා මොබයිල්’ ආයතනය වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට යන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසූවේ ඊයේ කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ‘ලයිකා මොබයිල්’ ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත් මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇද වැටී බංකොළොත් වන බවත් සභාපතිවරයා පැවැසීය.

මේ වනවිට ‘ලයිකා මොබයිල්’ ආයතනයද දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක්ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බවද හෙළිදරව් කළේය.

මෙම ගනුදෙනුව පිටුපස 1998දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය ‘එමිරේට්ස් සමාගමට’ විකුණා දැමීම සඳහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක්ද, වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකුද සිටින බව සභාපතිවරයා අනාවරණය කළේය.

වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැක ගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත් ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදුකළ බවත් පැවැසීය. මේ නිසා පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85ක් බවත් එහෙත් වත්මන් රජය යටතේ පසුගිය වසර 4ක අලාභය රුපියල් බිලියන 100ක් බවත් පැවැසීය.

මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03ක් හේතු වූ බවත් පළමු වැන්න පසුගිය වසර 4ක කාලය තුළ අමාත්‍යාංශ 04ක් යටතේ හා අමාත්‍යවරුන් 08 දෙනකු යටතේ විධායක නිලධාරීන් 04ක් සහ සභාපතිවරුන් 03ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද පෙන්වා දුන්නේය.

දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බදු සහිත නවීනතම ඒ. 350 එයාර් බස් ගුවන් යානා ගනුදෙනුව අහෝසි කිරීම තුළින් පැරැණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර ප්‍රංශයේ එයාර් බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පැවැසීය.

මීට අමතරව මේ තත්ත්වයන් නිසා ඒ. 330 එයාර් බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින අතර එම ගුවන් යානා සඳහාද ලීසිං වාරික ගෙවීමට සිදුවී ඇත.

එමෙන්ම පැරිස්, ෆ්‍රෑන්ක්පර්ට්, රෝමය වැනි දිගු දුර ගමනාන්ත සඳහා පවත්වාගෙන ගිය ගුවන් ගමන් සේවා අහෝසි කර දැමූ අතර ඒ මඟින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද 50%ක සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් වාර්තා වන බවද පැවැසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා,ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ශ්‍රී ලංකා ආර්ථිකයේ මර්මස්ථානයක් බවත් එය දේශීය සහ විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ආහාර පාන සපයන ශ්‍රී ලංකාවේ පවතින එකම සමාගම බවත් පැවැසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොළොත් කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සියලුම දේශපාලනඥයන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටි ඉහළ කළමනාකරුවන් වගකිව යුතු බවත් හෙතෙම කියා සිටී.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේදී රජය විසින් ‘ලයිකා මොබයිල්’ ආයතනය වෙත විකිණීමට තැත් කළහොත් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර ‍දොරටුව එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමට පසුබට නොවන බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා, පැවසීය.

මේ සඳහා තමන් සමඟ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සියලු වෘත්තීය සමිතිවලට අනුයුක්ත සේවකයන් 8,000ක් දෙනාද ඉදිරිපත් වන බවත් පැවැසීය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka