gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මං බොනවද නැද්ද කියන එක ආදල නෑනේ.. පරණ ජවිපෙ දැන් නෑ.. පරණ සාම්ප‍්‍රදාය එහෙමම ගෙන යන්න අදහසක් නෑ" - ලාල්කාන්ත

බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඞී. ලාල් කාන්ත මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා (07 වැනිදා) ඇප මත නිදහස ලැබීය. ඇප ලැබූ විගසම සිදුවූයේ කුමක්ද යන්න විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කේ. ඞී. ලාල්කාන්ත මහතාව දුරකථනය මගින් සම්බන්ධ කර ගත්තෙමු. කිසිදු පැකිලීමකින් තොරව පළමු ඇමතුමේදීම අප හා සම්බන්ධ වූ හෙතෙම සාකච්ඡාව සඳහා එක් විය.
ඒ මහතා සමඟ දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කළ සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය – සහෝදරයා ලොකු අකරතැබ්බයක් නේද වුණේ…?

පිළිතුර – ඔව්… අනතුරක් වළක්වාගන්න නොහැකි වුණා.

ප‍්‍රශ්නය – ඒක නෙමෙයි ප‍්‍රශ්නය… ඔබ බීමතින් සිටි බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. කතාබහට ලක්වූ සිදුවීම වුණේ…

පිළිතුර – පොලිසිය කියන ඒවා මේ රටේ ජනතාව පිළිගන්නවා නම් මේ රටට අධිකරණයක් ඕන වෙන්නේ නැහැනේ. පොලිසිය ගොරකා දඩමස් කරනවා දඩමස් ගොරකා කරනවා. අපේ නීතිඥ මහත්වරු මගින් එතැන සිදුවූ සිදුවීම අප අධිකරණයට වාර්තා කළා. අධිකරණය සාධාරණයක් කරාවි යැයි අප විශ්වාස කරනවා.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ ඔබ බීමතින් සිටියේ නැතැයි කියලද?

පිළිතුර – නැහැ…. මම බීලා හිටියේ නැහැ.

ප‍්‍රශ්නය – එහෙනම් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ කොහොමද?

පිළිතුර – මගේ වාහනේ යතුරුපැදියක හැප්පුණා. ඒ හැප්පුණේ ඔවුන් අතින්. ඇක්සිඩන්ට් එක වුණ ගමන් මම වාහනේ එතනම නතර කළා. මම බැහැලා ලෙඩාව අරගෙන තී‍්‍රවීල් එකකට දැම්මා. එතකොට ඇම්බියුලන්ස් එකත් ආවා. එවිට තී‍්‍රවීල් එකෙන් ලෙඞ්ඩුන්ව ඇම්බියුලන්ස් එකටත් දැම්මා. ඉන්පස්සේ පොලිසිය මට කියලමයි වාහනේ පාරෙන් අයිනටත් අරගත්තේ. ඉන්පසු පොලිසියට ගියා. දැන් කියන්නේ ඔය බීමතින් සිටිය කියන පරීක්‍ෂණ ගැනනේ. ඒ ගැන අපි අධිකරණයට කරුණු වාර්තා කරනවා.

ප‍්‍රශ්නය – දැන් ඔබ කියන ලෙස වාහනේ අනතුරක් වුණා. නමුත් ඔබ බීමතින් සිටියේ නැහැ. එසේ නම් පොලිසිය ඔබට සහ පක්‍ෂයට මේ කරන්නේ විශාල කැළලක්. ඒ ගැන කිනම් කි‍්‍රයාමාර්ගයක් ගන්නවාද?

පිළිතුර – ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ. අපි අධිකරණයට ඒ ගැන කරුණු වාර්තා කරනවා.

ප‍්‍රශ්නය – මම කියන්නේ මේ නඩුව ගැන නෙවෙයි. ඔබට ඔබ පක්‍ෂයේ කීර්තිනාමයට වූ කැළල ගැනයි.

පිළිතුර – ඒක තමයි. ඒක විසඳාගන්න වෙන්නේ උසාවියෙන්. පොලිසිය කියන දේවල් මේ රටේ සබුද්ධික ජනතාව ඒ විදිහටම පිළිගන්නේ නැහැනේ….. එහෙනම් අධිකරණයක් ඕනෙත් නැහැ… වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන්න ඕනෙත් නැහැ… මට ජනතාවට කියන්න තියෙන්නේ පොලිසිය කියන දේවල් ඒ විදිහටම පිළිගන්න ඕන නැති බවයි. ඔවුන් එක එක න්‍යායපත‍්‍රවලට කටයුතු කරන බව මුළු රටම දන්නවා.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ මෙම සිිදුවීම් මාලාව ජ.වි.පෙ. ට පහර ගහන්න කළ කුමන්ත‍්‍රණයක් කියලද?

පිළිතුර – දැන්ම අවසන් නිගමනවලට එන්න බැහැ. ඒවා අපිට ඉදිරියේදී හෙළිදරව් කරගන්න පුළුවන්වේවි. අනතුර සිදුවූ අවස්ථාවේ එහි පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරයත්, පොලිසිය ඇතුළේදී ඇතැම් නිලධාරීන් මා වෙත ප‍්‍රකාශ කළ කරුණුත්, මේ සිදුවීම දිගහැරුණු ආකාරයත් දෙස බලන විට පොලිසියේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව මට ප‍්‍රශ්න තිබෙනවා.

ප‍්‍රශ්නය – මොනවාද ඒ ප‍්‍රශ්න…?

පිළිතුර -ඒවා පත්තරයකට කියන්න බැහැ. එය අධිකරණයටම තමයි කියන්න වෙන්නේ.

ප‍්‍රශ්නය – හොඳයි… මීළඟ නඩු දිනය කවදාද?

පිළිතුර – ලබන දාහතර වැනිදා.

ප‍්‍රශ්නය – ඇප දෙනවිට මහෙස්ත‍්‍රාත්වරයා මොනවද කිව්වේ…?

පිළිතුර – නීතිඥ මහත්වරුන් මෝසමක් යොමු කර ඇප ලබා ගැනීමක් කළ නිසා මම ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැහැ.

ප‍්‍රශ්නය – අනතුරක් වුවත් බීමතින් නොසිටි බව ඔබ සඳහන් කරනවා. මම ඔබගෙන් මෙහෙම ප‍්‍රශ්නයක් අහනවා…… ලාල් කාන්ත සහෝදරයා ඉඳලා හිටලා හෝ අඩියක් පුඩියක්

ගහනවද…?

පිළිතුර – ඒක මෙතැනට අදාළම නැහැනේ. ඒක මගේ ජීවිතේ මාතෘකාවක් නෙමෙයි. කොටින්ම කියනවා නම් එය ජීවිතේ මාතෘකාවක් නෙවෙයි.

ප‍්‍රශ්නය – ජවිපෙ සාමාජිකයන්ට මත්පැන් තහනමක් නැති වුවත් ඔවුන් ඒ පිළිබඳ ස්වයං වාරණයක සිටිනවා. ඒ ගැන ඔබගේ අදහස කෙසේද?

පිළිතුර – අපේ පක්‍ෂ වර්ෂ 1965 සිට ඒ කාරණය සම්ප‍්‍රදායක් ලෙස පවතිනවා. එය බැහැර කරන්න බැහැ… වඩාත් වගකීම් සහගත ලෙස කටයුතු කරන්න පුරුදු කිරීම ඉතා වැදගත් කාරණාවක්.

ප‍්‍රශ්නය – ඒ හුරු කිරීම මේ වනකොට එහාට මෙහාට වෙලාද තිබෙන්නේ…. මීට කලින් විජිත හේරත් සහෝදරයාටත් මෙවැනි චෝදනාවක්ම එල්ලවුණා.

මේ කරුණු කාරණා ගොනු කරලා විමසා බැලූවොතින් ජනතාවට හිතෙන්න පුළුවන් පැරණි ජවිපෙ දැන් රට තුළ නැහැ කියලා….. ඇත්තටම ජවිපෙ කාලයත් සමඟ වෙනස් වෙලාද?

පිළිතුර – ඇත්තටම පැරණි ජවිපෙ දැන් නැහැ. පැරණි ජවිපෙ සාම්ප‍්‍රදායිකව ඒ විදිහටම පවත්වාගෙන යෑමේ බලාපොරොත්තුවක් අපට නැහැ. අලූත්වෙන්න අවශ්‍ය දේවල් තිබෙනවා.

ප‍්‍රශ්නය – එහෙම අලූත් වෙන්න ඕන දේ මොනවාද?….

පිළිතුර – රෝහණ සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු අපි මෙවර තමයි සූදානම් වෙන්නේ ජනාධිපතිවරණය තුන්කොන් සටනක් බවට පත් කරන්න. ඒ විසිවන සංශෝධනයට අනෙකුත් බලවේග එකතු නොවෙනවානම්, ඒ වගේම මැයි දිනය සැමරීම අප මෙවර වෙනස් කර තිබෙනවා. එසේම දේශපාලන උපක‍්‍රම අප වෙනස් කරලා තිබෙනවා. ඒ සේරම කිව්වොත් එහෙම ඒවා උපක‍්‍රම වෙන්නේ නැහැනේ. ඇත්තටම අපේ

පැරැන්නන්ට වඩා හොඳින් ජ.වි.පෙ. වර්තමාන නායකත්වය මේ වැඬේ කරගෙන යනවා. අපටත් වඩා හොඳින් ඊළඟ පරම්පරාව කටයුතු කර ජයග‍්‍රහණය ලබනවා. ඒ ගැන කිිසිදු සැකයක් නැහැ.

ප‍්‍රශ්නය – අතීත සාමාජිකයන්ට දෝෂාරෝපණයක්ද ඔබ කරන්නේ. ඔබ කියන ලෙස වර්තමාන නායකත්වය වගේ ඔවුන්ටත් වැඩ කරන්න තිබුණා යැයි ඉන් අදහසක් මතු වන්න පුළුවන්.

පිළිතුර – එහෙම අදහසක් එතැන නැහැ. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක්් අතීතයට වඩා වර්තමානය හොඳ වීම ගැන පැරන්නෝ සතුටු වෙන්න ඕනෑ. ඔවුන්ට ඒ සතුට හිමියි…

ප‍්‍රශ්නය : මීළඟ ජ.වි.පෙ. නායකයා ලාල්කාන්ත කියලයි සමාජය හඳුන්වන්නේ. ඔබ මුහුණ දුන් සිදුවීම සහ ඉන් අනතුරු සිදුවීම් මාලාව ගැන ඇතැමුන් සැකය යොමු කරන්නේ වත්මන් පක්‍ෂ නායකත්වය දෙසටයි. වත්මන් ජවිපෙ නායකත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – අපේ දේශපාලන මණ්ඩලයේ ඕනෑම සාමාජිකයෙක්, පක්‍ෂ නායකත්වයට සුදුසුයි. දේශපාලන මණ්ඩලයත්, මධ්‍යම කාරක සභාවත්, පක්‍ෂ සාමාජිකයන්, අනුර සහෝදරයා පක්‍ෂයේ නායකයා බවට පත් කළා. ඒ නායකයාගේ මූලිකත්වය ලේකම් සහෝදරයාගේ මෙහෙයවීම සමඟ මධ්‍යම කාරක සභාව ගත් තීන්දු තීරණ මේ වනවිට කි‍්‍රයාත්මක වෙමින් යනවා. ඇත්තටම රටේ ජනතාවට පක්‍ෂය ගැන තිබෙන ප‍්‍රශ්න අපට නැහැ… ඔවුන්ට එක එක අදහස් තිබෙන්න පුළුවන් වුණත් අපි සාමූහිකව වැඩ කරන පක්‍ෂයක්. මෙය එක්සත් ජාතික පක්‍ෂය වගේ රනිල් වික‍්‍රමසිංහගේ බූදලයක් නෙමෙයිනේ. පොහොට්ටුව ශී‍්‍ර ල.නි. පක්‍ෂය වගේ තනි පුද්ගලයකු මෙහෙයවන ඒකාධිපති ස්වරූපයක් අපගේ පක්‍ෂයේ නැහැ. අපි වැඩ කරන්නේ සාමූහිකත්වයෙන් සහෝදරත්වයෙන්. අපි ගාව තියෙන්නේ සාමූහික කාර්යභාරයක්. එහිදී අනුර සහෝදරයාට සෑහෙන කාර්යභාරයක් තිබෙනවා. ඒවගේම අපටත් ඒ හා සමාන වගකීම් සමුදායක් තිබෙනවා. වැඬේ හැටියට තමයි එය තීරණය වන්නේ.

ප‍්‍රශ්නය : අනුර කුමාර දිසානායක මහතා එල්ල කර ගනිමින් විශාල ප‍්‍රහාරයක් එල්ල වෙමින් තිබෙනවා.

පිළිතුර – ඔව්.. ඔහු එල්ල කර සැලසුම් සහගත ප‍්‍රහාරයක් එල්ල වෙමින් තිබෙනවා. අප ගන්න තීන්දු තීරණ දේශපාලන උපක‍්‍රම සියල්ලටම අප පක්‍ෂයක් ලෙස වගකියනවා. කාට හරි අනුර සහෝදරයා ගැන විවේචනයක් තිබෙනවා නම් එය පක්‍ෂයටම කියාගන්න කියලා අපි ඔවුන්ට කියනවා.

ප‍්‍රශ්නය – එ.ජා.ප.ය සමඟ ජවිපෙ තිරය පිටුපස ගනුදෙනුවක් යන බවට චෝදනා නැෙඟනවා.

පිළිතුර – එය සතුරෝ ගෙනෙන බොරු චෝදනා. අනුර සහෝදරයා මූලික කරගෙයි ඒ. බොරු චෝදනා එල්ල වන්නේ. සතුරෝ එහෙම කිව්වට අපි ශත පහකටවත් එය ගණන් ගන්නේ නැහැ. ඒ වුවත් කවුරුන් හෝ එහෙම කියනවා නම් එය සමස්ත පක්‍ෂයටම ආරෝපණය කරගෙන මුළු පක්‍ෂයටම චෝදනා එල්ල කරන්න.

ප‍්‍රශ්නය – ඔබ බන්ධනාගාරගත වූ පසු ජ.වි.පෙ. සඳහන් කළේ ඔබ එළියට පැමිණි පසු මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි. ඒ ප‍්‍රකාශය තුළින් ඔබ වැරදිකරුවකු කර ඇති බව පෙනෙනවා. නොවේද?

පිළිතුර – කිසිසේත් නැහැ. මේ අනතුර වූ වෙලාවේ සිට පක්‍ෂ නායකත්වයේ සිට සියලූ සාමාජිකයන් මා සමඟ සිටියා. ඔවුන් තමයි මේ කටයුතු කළේ. ඉදිරි මැදිහත්වීම් කරන්නෙත් ඔවුන්මයි. බිමල් සහෝදරයා ඉතාම නිවැරැදි ලෙස ප‍්‍රකාශ කර තිබුණේ මා නිදහස් වූ පසු මාව මුණගැසී සාකච්ඡා කරලා. මොකද වුණේ, මොකද කෙරෙන්න ඕනෑ කියලා කතා කර අවබෝධයෙන් කටයුතු කරනවා කියලයි. එය නිවැරැදියි. එහි වරදක් නැහැ.

ප‍්‍රශ්නය – මේ තිබෙන තත්ත්වයන් තුළ ලාල්කාන්ත කියන චරිතයට තවදුරටත් ජවිපෙ තුළ කටයුතු කරන්න පුළුවන්ද?

පිළිතුර – මම තාම හුස්ම ගන්න එක නතර කරලා නැහැ. මම දිගටම ජවිපෙ තුළ වැඩ කරනවා.

ප‍්‍රශ්නය – ජවිපෙ මෑත ඉතිහාසය තුළ එහි ඉහළ නායකත්වයේ සිට කාඩර්වරුන් දක්වා නිතර නිතර යම් යම් චෝදනා එල්ල වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – අපට දේශපාලන සතුරන් බොහෝමයි. ඔවුන්ගේ ප‍්‍රහාර අප වෙත නිරන්තරයෙන් එල්ල වෙනවා. ජවිපෙ ආරම්භ කරන විටදීත්, වර්තමානයේදී හා අනාගතයේදීත් මේ විදිහටම අපට ප‍්‍රහාර එල්ල වේවි. මෙය මේ ලෝකේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් වෙන දෙයක් නෙවෙයි. නිවැරැදිව කටයුතු කරන ඕනෑම වාමාංශික ව්‍යාපාරයකටම ලෝකය පුරාම මේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. එහෙම නැතුව දේශපාලනය කරන්න බැහැ.. පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාව තුළ ඉතාම පුළුල්ව පවතින ඉඩකඩ භාවිත කරමින් තවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ වැඩි කර ගැනීමට වෙර දරමින් සමාජයේ විසිරුණු පැතිරුණු ස්ථානවලට, කලාපවලට, පුද්ගලයෝ සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් කටයුතු කරන පක්‍ෂයක් තමයි ජවිපෙ කියන්නේ. අපි නූතනත්වයට ගැලපෙන ලෙස පක්‍ෂය වෙනස් කරගෙන තිබෙනවා. ඒ වෙනසත් එක්ක සමාජයත් සමඟ එහි වැඩ කරන කොට ඇතැමුන්ට එය දරාගන්න බැරිම වෙලා තිබෙනවා. අපිට කොච්චර මඩගහනවද කියනවා නම් අනුර සහෝදරයා ටයි කෝට් දාලා පිටරට ගිය එකටත් මඩ ගහනවා.

ප‍්‍රශ්නය – හොඳයිි … මේ පසුගිය සිදුවීම් සමඟ පක්‍ෂ සාමාජිකත්වය අන්දමන්ද වී තිබෙනවා. ඔබ ඔවුන්ට දෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර – අපගේ පක්‍ෂ සාමාජිකත්වය බුද්ධිමත්. පක්‍ෂය තුළ වැඩ කිරීම කලාවක් හා වැඩසහටනක් තිබෙනවා. සාමාජිකත්වය තුළ අඩුපාඩුවක් වෙනවා නම්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ක‍්‍රමයක් තිබෙනවා. ඒ නිසා මෙතැන ගැටුමක් නැහැ.

ප‍්‍රශ්නය – ඔබගේ සිදුවීම් සමුදාය පක්‍ෂය අලූත් පරිවර්තනයක් කරා රැගෙන යන සිදුවීම් සමුදායක් වේවිද?

පිළිතුර – මේ සිදුවීම සම්බන්ධයෙන් අපි කටයුතු කරන ක‍්‍රම දෙකක් තිබෙනා. එක, රටේ නීතියක් තිබෙනවා. ඒ අනුව අප සමාජයත් සමග කටයුතු කරනවා. අනිත් එක ගෙදර තුළ ප‍්‍රශ්න විසඳා ගැනීම. ඒක කාටවත් වැඩක් නැහැ. අපි එය ගෙදර තුළ විසඳා ගන්නවා.

– divaina


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka