gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රවී සහ බටගොඩ ජයගනී !

ටට මිලියන 75,000 ක පාඩුවක් සිදුකරමින් කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වේ.

පසුගිය සමයේ සමාජයේ දැඩි කතාබහට ලක්වූ කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය, ඒ සඳහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගම ඉන් ඉවත් කර චීන සමාගමක් වෙත පැවරීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ (12) දිනයේදී ඉදිරිපත් කල යෝජනාව වාද විවාද මැද කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර ඇතැයි වාර්තා වේ.
ටෙන්ඩර් අර්බුදයේ ආරම්භය

දැනට කාර්‍යබහුල අවස්ථාවන්හී දී මෙගාවොට් 2300 පමණ වන ශ‍්‍රී ලංකාවේ දෛනික බලශක්ති අවශ්‍යතාවය, 2021 වසර වන විටදී මෙගා වොට් 3100 පමණ වනු ඇති බවට විදුලිබල අමාත්‍යංශය විසින් පුරෝකථනය කර තිබේ. ගොඩනැගෙමින් තිබෙන විශාල නිවාස සහ සාප්පු සංකීර්ණ, වරාය නගරය සහ කාර්මීක ජනපද වල විදුලි අවශ්‍යතාවය ඉහළයාම නිසා මෙගා වොට් 800 පමණ අතිරේක විදුලි බලයක් නිපදවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට ඉදිරි වසර කිහිපයේදී ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇත.

වසර කිහිපයකට පෙර සකස් කරනු ලැබු අනාගත බලශක්ති අවශ්‍යතාවය සැපිරීම සඳහා ශ‍්‍රී ලංකාව ගතයුතු ක‍්‍රියාමාර්ග සහ ඉදිකල යුතු බලාගාර පිළිබඳ සැලසුම ප‍්‍රකාරව 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුල නව විදුලිය බලාගාර දෙකක් අලූතින් ඉදිකිරීමට යෝජිතව තිබූ අතර  අලූතින් ඉදිකිරීමට සැලසුම් කල බලාගාර ද්විත්වයෙන් ත‍්‍රිකුණාමලය සාම්පූර් විදුලි බලාගාරය අදියර දෙකකින් යුක්ත වූ අතර එම අදියර දෙකෙන් මෙගා වොට් 500ක විදුලි බලයක් ජාතික පද්දතියට ලබාදීමට සැලසුම් කෙරිණි. නමුත‍් ගොඩනැගුණු නොයෙකුත් විරෝධතා හමුවේ එම බලාගාරය ඉදිකිරීම අත්හිටුවන ලදි.

ඉදිකිරීමට නියමිත මීළඟ බලාගාරය වනුයේ කෙරවලපිටිය සංයුක්ත චක‍්‍ර විදුලි බලාගාරය ( Combined Cycle Power Plant) වන අතර එය මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුතු බලාගාරයකි. ආරම්භයේදී සමාන්‍ය ඉන්ධන වලින් විදුලිය නිපදවන මෙම බලාගාරය අවශ්‍ය අවස්ථාවකදී ස්වාභාවික ද්‍රව ගෑස් (LNG)යොදාගනිමින් විදුලිය නිපදවිය හැකි අයුරෙන් නිර්මාණය කෙරෙනු ඇත.

රටේ ජාතික විදුලිය බල සැපයුම මෙවැනි අර්බුදකාරී වාතාවරණයකට පැමිණ තිබියදී ඒ සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ යනිලධාරීන්ගේ යුතුකම වනුයේ අඩුමිලට ඉක්මනින් විදුලිය නිශ්පාදනය කිරීම සදහා සිය අවංක කැපවීමෙන් ක්‍රියා කිරීමයි. නමුත් ඒ වෙනුවට විශාල කොමිස් මුදල් සහ අනෙකුත් වරප‍්‍රසාද වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරේ හෙළිම ඉතා අවාසනාවන්ත තත්වයකි.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ විසින් දිගින් දිගටම අවස්ථා ගණනාවකදී පෙර සදහන් කෙරවලපිටිය ද්විත්ව චක‍්‍ර ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩරය ප‍්‍රමාද කරවීමට කටයුතු කිරීම පසුගිය සමයේදී දැඩිව විවේචනයට ලක්විය.

ටෙන්ඩර් ක‍්‍රියාදාමය ප‍්‍රමාද වීම

මෙම බලාගාර ඉදිකිරීම් ටෙන්ඩරය සදහා අයදුම් කල සමාගම් සියල්ල තාක්ෂණික වශයෙන් ඇගයීමකට ලක්කොට අවසානයේදී සමාගම් අටක ටෙන්ඩර් මිල ගණන් සළකා බැලීම සදහා 2017 වසරේදී නිර්දේශ විය. එවිට ක‍්‍රියාත්මක වූ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩ විසින් අනෙකුත් සියලූ සමාගම් නොසලකා හැර කොරියාවේ සැම්සුන්ග් සමාගමේ ටෙන්ඩර් පත‍්‍රිකාව පමණක් විවෘත කල යුතු බවට බලපෑම් කරන ලදි.

යම් හෙයකින් සැම්සුන්ග් සමාගම විසින් ඉදිරිපත් කල ටෙන්ඩර් පත‍්‍රිකාව පමණක් විවෘත කර අනෙකුත් සමාගම්වල මිල ගණන් විවෘත නොකර තනි ටෙන්ඩර් මිලකට අදාල ගණුදෙනුව සිදුකලා නම් එය මෙරට ඉතිහාසයේ සිදුවූ දූෂිතම ගණුදෙනුවක් වීමට ඉඩ තිබූ අතර එයට එරෙහිව ගොඩනැගුණු ප‍්‍රභල මහජන විරෝධය හමුවේ එය ව්‍යවර්ථ විය. පසුව අනාවරණයවූ පරිදි සැම්සුන්ග් සමාගම සිය ටෙන්ඩර් පත‍්‍රිකාවේ මිලක් සටහන් නොකර තිබූ අතර අන්ත දූෂිත ලෙස එම ටෙන්ඩරය ලබා ගැනීමට සැලසුම්කර තිබූ බව අනාවරණය විය.

සැම්සුන්ග් සමාගමේ වංචනික භාවය හෙළිවීමත් සමඟ ඔවුන් ටෙන්ඩර් ක‍්‍රියාවලියෙන් ඉවත් කල අතර ඉතිරිවූ සමාගම් සියල්ලෙහිම මිල ගණන් සංසන්දනය කොට අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට එම ටෙන්ඩරය ලබාදිය යුතු බවට තාක්ෂණික ඇගයීම් කමිටුව සහ කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කරන ලදි.

ඉන්පසුව නැවතත් ක‍්‍රියාත්මක වන ආචාර්‍ය සුරේන් බටගොඩ විසින්මෙම ඉදිකිරීම සඳහා දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත සමාගමට නොහැකි බව පවසමින් මෙම බලාගාර ටෙන්ඩරය චීන සමාගක් වන  GCL  චයිනා සමාගමට ලබාදිය යුතු බවට විශාල අරගලයක නියැලිණි.

අවස්ථා කිහිපයකදීම දේශීය සමාගමේ ඉදිකිරීම් හැකියාව පිළිබඳව විවිධ ප්‍රශ්න ඔහු විසින් මතුකල අතර ඒ සියල්ලටම එම සමාගම සාර්ථකව පිළිතුරු ලබාදී තිබේ. පසුව අදාළ මිළ ගණන් සදහා වැට් සහ ජාතිය ගොඩනැගීම් බදු ඇතුලත් කර නැති බව පැවසූ අතර එම බදු ගණනයෙන් පසුවද අවම මිල ඉදිරිපත් කර ඇත්තේ පෙරකී දේශීය සමාගමයි.

විදුලි ඒකකයක මිල රුපියල් 14.97 වන අවම මිල ඉදිරිපත් කල දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත දේශීය සමාගම මින් පෙරද සංයුක්ත චක‍්‍ර විදුලි බලාගාර ඉදිකර පළපුරුද්ද සහිත සමාගමක් වන අතර විදුලි ඒකකයක මිල ඊට වඩා වැඩි ( රුපියල් 15.98) චීන සමාගම එවැනි බලාගාර මින් පෙර ඉදිකර නැත. මෙගා වොට් 350 ක ධාරිතාවයෙන් යුතු මෙම බලාගාරය ඉදිකිරීමෙන් පසු සාමාන්‍යයෙන් වසරකට විදුලි ඒකක මිලියන 2000 පමණ විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගනු ඇති අතර එම අවස්ථාවේදී පවතින ඩොලරයේ අගය මත ඉන් සිදුවන පාඩුව රුපියල් බිලියන 50 - 75 (රුපියල්කෝටි 5000 - 7500) ඉක්මවනු ඇත.

මෙම බලාගාරය ඉදිකිරීමෙන් පසුව මිලදී ගනු ලබන විදුලිය සදහා විදුලි බල මණ්ඩලය ගෙවිය යුත්තේ ඇමරිකානු ඩොලර් වලින් ය. මෙම ටෙන්ඩරය කැදවන අවස්ථාවේදී ඩොලරයේ අගය රුපියල් 150 ක් වූ අතර දැන් එහි අගය රුපියල් 180 කි. මෙම බලාගාරය ඉදිකිරීම් අවසන්කොට ජාතික පද්ධතියට විදුලිය සපයන විටදී ඩොලරයේ මිල රුපියල් 190 - 195 වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබේ. ඒ අනුව ඩොලරයේ අගය වැඩිවීමත් සමඟ මෙම බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමෙන් සිදුවන පාඩුව ක‍්‍රමයෙන් වැඩි වේ.

මෙම බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට චීන සමාගම විසින් අභියාචනයක් ඉදිරිපත් කල අතර එහිදී සදහන් කරුණු සියල්ල බවත් බලාගාර ටෙන්ඩරය චීනයට ලබාදිය යුතු බවත් දක්වමින් සුරේන් බටගොඩ ලේකම්වරයා අභියාචනා මණ්ඩලයට රහසිගත ලිපියක් ද යවන ලද බව වාර්තා වී තිබේ. සුරේන් බටගොඩගේ මෙම ලිපිය පිළිගත් ඔහුට හිතවත් සාමාජිකයින්ගෙන් සමන්විත ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB)    විසින් ටෙන්ඩරය චීන සමාගමට ලබාදිය යුතු බවට නිර්දේශ කරන ලදි.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා බලාගාර ටෙන්ඩරය සම්බන්ධයෙන් දිගින් දිගටම ක‍්‍රියාකර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පවතින නීති පද්දතිය, ආයතන සංග‍්‍රහය හෝ පරිපාලන ආචාර ධර්ම ප‍්‍රකාරව මහජන සුබ සිද්ධිය උදෙසා නොව සිය පෞද්ගලික මතවාදයන්ට අනුව තම ගජමිතුරු කල්ලියකගේ හිත සුව පිණිස බව ඔහුගේපෙර භාවිතයන්, හැසිරීම් සහ ටෙන්ඩර් ඇගයීම් ක්‍රිටාවලියට අදාළව ඔහු සකසන ලද ලිපි ලේඛන අනුව අපට නිගමනය කල හැක.

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ සමයේදී මෙම ටෙන්ඩරය චීනයට ලබාදිය යුතු බවට වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ අතර එහිදී අමාත්‍යවරුන් රැසකගේ විරුද්ධත්වය හමුවේ එම ටෙන්ඩරයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණයක් ගැනීම සදහා ජාතික ප‍්‍රසම්පාදන කොමිසමට පවා යොමුකරන ලදි.

මූලික අයිතිවාසිකම් නඩුකරය

දිගින් දිගටම  මෙම ගැටලූව සමාජය තුල දැඩිව කතාබහට ලක්වෙමින් තිබියදී පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් මෙම බලාගාර ටෙන්ඩරය චීනයට ලබාදීම යුක්ති සහගත නොවන බවට පවසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකල අතර පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පැවති සුහඳ සාකච්ජාවකින් අනතුරුව රංජිත් විතානගේ විසින් එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදි.

මෙම ගණුදෙනුව නිසා රටට ඉදිරි වසර 20 තුලදී රුපියල් මිලියන 75,000 පමණ අතිරේක වැය බරක් දැරීමට සිදුවනවා සේම මෙම ව්‍යාපෘතිය ප‍්‍රමාදවීම නිසා හදිසි විදුලිය මිලදී ගැනීමකට යොමුවීමට සිදුවනු ඇත. ඒ සදහා වසරකට දැරීමට සිදුවන අතිරේක වැය බර රුපියල් බිලියන 20 (මිලියන 20,000) වේ.

අවාසනා වන්ත ලෙස එම විදුලි හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරයද මේ වන විට ඉතා වංචනික ලෙස ඇග‍්‍රිකෝ නමැති ඉහළ ඒකක මිලක් ඉදිරිපත් කල සමාගමට ලබාදීමට අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ සහ අමාත්‍ය රවී කරුණානායක විසින් කටයුතු කරමින් සිටියි.

නොරොච්චෝලේ ගල් අගුරු ටෙන්ඩරය ඇතුලූ විදුලිබල ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූම ටෙන්ඩර් මේ වන විට මහා පරිමාණ කොමිස් මුදල් ලබාගැනීමේ අරමුණ ඇතිව නිලධාරීන් සහ දේශපාලකයින් එක්ව අවුලෙන් අවුලට පත්කර ඇත.

දූෂණ විරෝධී විදුලිබල සේවක එකමුතුව


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka