gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රි-රනිල් සීතල යුද්ධය පාර්ලිමේන්තුවේ ඇවිළේ !

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සීතල යුද්ධය මේ වනවිට රටට රහසක් නොවේ.

එම සීතල යුද්ධය යම් යම් අවස්ථාවලදී විවිධ ස්වරූපවලින් කරළියට පැමිණේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ඇතිවූ කතාබහත් සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සීතල යුද්ධය එළියට පැන්නේය.
එය එළියට පැන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා බෝම්බය මැතිසබය තුළදී පිපිරීමත් සමඟමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු කුමක්ද? එය බොහෝදෙනකු හරිහැටි තවම නොදන්නවා විය හැකිය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අනුව මෙරට ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරේ. මෙම කොමිෂන් සභාවලට සභාපතිවරුන් පත්කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීම ආදී කටයුතු සිදුවෙන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟිනි.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන අතර අගමැති හා විපක්‍ෂ නායක නිල බලයෙන් මෙහි නියෝජනය කරති.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයා, අගමැතිවරයාගේ නියෝජිතයා සහ විපක්‍ෂ නායකගේ නියෝජිතයා වශයෙන් තිදෙනෙක්ද මෙම ව්‍යවස්ථා සභාවට අයත් වෙති.

ඊට අමතරව ප්‍රධාන දේශපාලන පක්‍ෂ නොවන සුළු දේශපාලන පක්‍ෂවලින් එක් නියෝජිතයකු නම් කරනු ලබන අතර අගමැති හා විපක්‍ෂ නායකගේ එකඟතාවයෙන් තිදෙනකු නම් කරනු ලබන අතර එම තිදෙනා සිවිල් නියෝජිතයන්ය.

මේ වනවිට නව විපක්‍ෂ නායක ලෙස මහින්ද රාජපක්‍ෂ පත්වීමෙන් අනතුරුව මීට පෙර සිටි විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් විසින් ඔහුගේ නියෝජිත ලෙස පත්කරන ලද හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.

නව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ ඔහුගේ නියෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දාගේ නම යෝජනා කර ඇත.

නමුත් අගමැති හා විපක්‍ෂ නායකගේ එකඟතාවයෙන් පත්කරන නියෝජිතයන් තිදෙනා අලුතින් පත්කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ සේවා කාලය අවසාන වනතුරු නව පත්කිරීම් නොකළ යුතු බවයි.

විපක්ෂ නායක වෙනස් වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුක්තිය වෙනස් කළ යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි සඳහන් නොවන බවද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ අතරතුර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව ආරම්භයේදීම කරු ජයසූරිය කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව අදහස් දක්වන්නට වූයේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලුම සාමාජිකයන් සහ සභාපති ලෙස මා විසින් මෙතෙක් ගත් සෑම තීරණයක්ම නීත්‍යනුකූලය. විනිවිද මෙන්ම ස්වාධීනව හා අපක්ෂපාතීව ගත් තීරණ බවට අවධාරණය කරමි. මතභේදයට තුඩුදී ඇති ඇතැම් තනතුරු සඳහා තැනැත්තන් පත්කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් අප වෙත එවන ලද සෑම යෝජනා සලකා බැලීමේදී ද සභාවේ සියලුම දෙනාගේ කැමැත්ත මත එම තීරණ ලබාදී ඇති බවද දන්වමි. යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.

මීට වහාම නැඟී සිටිමින් ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනයි.

"කනගාටුයි කියන්න ව්‍යවස්ථා සභාව අතිගරු ජනාධිපතිතුමා විසින් නිර්දේශකොට ඉදිරිපත් කරන නම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ පිළිවෙතක් අනුගමන කරන්න පටන් ගෙන තිබෙනවා. නීතිපතිතුමා පත්කිරීමේදී පොලිස්පතිතුමා පත්කිරීමේදී මේ ප්‍රශ්නය ආවා. දැන් අභියාචනාධිකරණයේ සභාපති ධුරය පත්කිරීමට මේ ප්‍රශ්නය ඇවිල්ලා. ව්‍යවස්ථා සභාව ජේ‍යෂ්ඨත්වයට සලකන්නේ නැහැ. සුදුසුකමට සලකන්නේ නැහැ.

දේශපාලන හිතවත්කමට තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නට පස්සේ ඒකට ගරු කළා. ආණ්ඩුක්‍රම අර්බුදයක් මේ ව්‍යවස්ථා සභාව ඇති කරගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලය පවත්වාගෙන යන්නද" යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් විමසන ලදී.

ඊට ප්‍රතිචාර දැක්වීමට නැඟීසිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය.
"එක්සත් ජාතික පක්ෂය කියලා එතැන නැහැ. කිසිම පක්ෂයකට බහුතරයක් එතැන නැහැ. තීරණ ගන්නකොට ඔක්කොම එකඟවෙලා රහස් ඡන්දයෙන් තමයි ගන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ඔච්චර හිතනවා නම් මාර්ක් ප්‍රනාන්දු මැතිතුමා මේ රටේ අග්‍රවිනිශ්චයකාර තනතුරට පත්කරන්න තිබුණා. එයාව පත්කළේ නැහැ. සරත් සිල්වා ගෙනැල්ලා පත් කළා. මෙතැන මේ තරහ තියෙන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණය දෙසැම්බර් මාසෙදී දුන්නු තීරණ ගැන. රටේ මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතැනට ඇවිල්ලා කෑගහලා මේවා මාධ්‍යයට කියනවා මේවා දාන්න.

දැන් පටන් අරන් තියෙනවා නඩුකාරවරුන්ට බනින්න.

ඒ අයගේ ආගම ගැන කතා කරනවා. ඕකට ඉඩ දෙන්න බැහැ. අඩුගානේ ව්‍යවස්ථා සභාව නිසා මේ ටික ආරක්ෂා වෙලා තියෙනවා. මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා. අපිට විරුද්ධවත් තීන්දු දීලා තියෙනවා. එතකොට කියනවා හොඳයි කියලා. නඩුවලින් නිදහස් කළාම හොඳයි කියනවා. අනෙක් එක කැක්කුම තියෙන්නේ ජනාධිපතිතුමාට නෙවෙයි. වෙන කාටවත් මට පේන හැටියට. ඒක තමයි වෙලා තියෙන්නේ." යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කරු ජයසූරිය කථානායකවරයාද ඊට යමක් එක් කළේය.

"මං ගෞරවයෙන් සඳහන් කරනවා. මෙතෙක් කල් ගත්ත සෑම තීරණයක්ම ඒකමතිකව ගත්තු තීරණ කියලා. පසුගිය රැස්වීමේදීත් අතිගරු ජනාධිපතිතුමා එවපු නම් තුන හතරක්ම ව්‍යවස්ථා සභාව අනුමත කළා. සමහර අවස්ථා තිබුණා, අතිගරු ජනාධිපතිතුමාගේ නම් පිළිගන්නේ නැති අවස්ථා. හේතුව පහදලා දුන්නා නම් අතිගරු ජනාධිපතිතුමා පිළිගත්තා" යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා සඳහන් කළේය. මේ අවස්ථාවේදී නැඟීසිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය.

'අගමැතිතුමා ප්‍රකාශ කරන ආකාරයට රටේ අධිකරණය මනරම් ස්වාධීනත්වයකින් අනූන නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල පදනමෙන් පිහිටා නැත කියලා පදනම් කරගෙන ගොනු කළ නඩු විභාගය අවසන්.

එය අවසන් වෙලා අවුරුදු තුනහමාරකටත් වැඩියි. නමුත් තවම ශේ‍ර්ෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ වාගේම පසුගිය පළාත් පාලන මැතිවරණය කල්දැමූ වෙලාවේ එය කල්දැමීමට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලැබුවා. එම නඩු තීන්දු කිසිවක්වත් මේ දක්වා ලබාදීලා නැහැ.

ඒ විතරක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජේ්‍යෂ්ඨතම විනිශ්චකාරතුමිය ඊවා වනසුන්දර මහත්මිය අගවිනිසුරු ධුරය සඳහා ජනාධිපතිතුමා නිර්දේශ කරලා මේ ව්‍යවස්ථා සභාවට එවනවා.' යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. එම කතාව පිළිනොගත් කථානායකවරයා ප්‍රකාශ කළේ එම නව ව්‍යවස්ථා සභාවට එව්වේ නැත කියාය.

නමුත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා එය පිළිගත්තේ නැත.
'ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ඒ නම ව්‍යවස්ථා සභාවට එව්වා කියලා' විමල් වීරවංශ මන්ත්‍රිවරයා යළිත් හඬ අවදි කළේය.

'ඒ නම එව්වේ නැහැ. අසාධාරණ චෝදනා කරන්න එපා. ආවේ නැහැ. ඒ නම ආවේ නැහැ' කරු ජයසූරිය කථානායකවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය.

'එහෙනම් ඒ නම එව්වේ නැත්තේ මොකද?'

විමල් වීරවංශ ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

'ඒක මං දන්නේ නැහැ' කථානායකවරයා පිළිතුරු ලබාදුන්නේය.

'ජනාධිපතිතුමා ඒ නම එවන්න හදනකොට අගමැතිතුමාගේ කණ්ඩායම කිව්වා, ඒ නම එවන්න එපා. ප්‍රතික්ෂේප කරනවා කියලා' විමල් වීරවංශ මන්ත්‍රිවරයා යළිත් ප්‍රකාශ කරන විට මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

'අසාධාරණ චෝදනා කරන්න එපා' කථානායකවරයා කියා සිටියේය.

'අපට ලබන පාර්ලිමේන්තු සතියේදී දින 2ක විවාදයක් මේ ගැන ලබාදෙන්න. මොන පදනමින්ද ඔය පත් කිරීම් ලබාදීලා තියෙන්නේ. මොන ආගමික කරුණුද සලකා බලලා තියෙන්නේ කියලා විවාදයේදී අපි අනාවරණය කරන්නම්' විමල් වීරවංශ මන්ත්‍රිවරයා දැඩි ලෙස ප්‍රකාශ කළේය. මීට ප්‍රතිචාර දැක්වීමට නැඟී සිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය.

'මේ රටේ ශේ‍ර්ෂ්ඨාධිකරණය මේ කියන විදියට ස්වාධීන නැත්නම් ඇයි එතුමාගේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා පළාත් සභා මැතිවරණය ලබාගන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයට යනවායි කියලා තියෙන්නේ.' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කෑකෝ ගසන්නට වූහ.

ඒ සමඟම මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

'ඔබතුමාලා ගිහිල්ලා අහන්න ඔබතුමාලගේ නායක ජී.එල්. පීරිස් මහත්තයාගෙන් ඇයි මේක කරන්නේ කියලා. මෙතැන කෑගහලා වැඩක් නැහැ. නොදැන නිකන් පච පච ගාලා කෑගහනවා. හැම එක්කෙනාටම වැඳ වැඳ මිරිස් කුඩු ගහලා ඇවිල්ලා මෙතැන කතා කරනවා.' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන විට යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් කෑ කෝ ගසමින් ඊට විරෝධය දැක්වීම නිසා යළිත් මැතිසබය උණුසුම්කාරී විය.

මව්බිම


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka